රුක්අත්තන මල මුදුනේ... ruk aththana mala mudune


රුක් අත්තන මල මුදුනේ..........

මහින්ද අල්ගම


හරුප පැහැය :මහින්ද අල්ගම
නාද පැහැය   :නන්දා මාලනී
හඬ පැහැය   : නන්දා මාලනී


රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............

මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා..................
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ....

මහින්ද අල්ගම සූරින් විසින් රචිත විශාරද නන්දාමාලිනීයන්ගේ ලයාන්විත හඬෙන් අලංකාරවු මේම ගිතය මම ඉතාමත් ප්‍රිය කරන ගී කීපය අතරින් එකකි...

රුක් අත්තන මල් පිපෙන්නේ සැන්දෑ කාලයේය..එහි සුවඳ මටනම් සිත් කුල්මත් සමත් සුවදකි...මෙහි කතානායිකාවද එම සුවද ප්‍රිය කරන්නෙකි..එම සුවඳ මුසුව සැදෑ කලුවර පැමින ඇත...ඇයගේ හිත ඉල්ලන්නේ තම පෙම්බරයාගේ ආගමනයයි...මෙහි පුංචි දරුවාට පියා දැකිමට ඇති ඕනා කමට වඩා බිරිඳ සැමියාගේ පැමිණීම මත සංතෘෂ්ඨිමත් වනබව මාගේ හැගීමයි...

මුතුවන් වූ පිණි සැලෙන මිහිරී වූ උදයේ මෙම කතාවෙ පුරුෂයා නොහොත් පියා රාජ කාරියට පිටත්වයයි..ඒ මොහොතේ පුංචි පුතා සුව නින්දේ පසුවන යාමයයි...පියා තම දරුවාගේ හිස සිබ සනසා පිටවීම රචකයා පුතු සවනට රහසක් පවසනවා ලෙසින් අලංකෘතව දක්වා ඇත..එසේ උදෑසන අවදිව වෙහෙසකර රැකියාව නිමකර පැමිනෙන ස්වාමියා පිළිගැනීමට ඇගේ සිත නොයිවසිලිවන්ත වී ඇත...එම ආශාව හද තුල මෝරමින් තිබියදීම තම දරුවාට පියා ගේ අගය ඔහුගේ වටිනාකන පහදා දෙන්නට අපූර්ව උත්සාහයක් දරා ඇත....

පතොක් නම් කර්කෂ පොලොව මත වැවෙන ශාක පද්දතියකි..එහි අලංකාරවු පුෂ්පයෝ හටගනී...පුද්ගලිකව මා එම පතොක් ශාකයන්හට ලොබ බදින්නෙකි...මෙහිදී රචකයා   විසින් මෙම පවුල විවිධ දුෂ්කරතා මත වුවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයෙන් ගෙවන පවුලක් බව පෙන්වීමට මෙම්ම උපමා රූපකය යොදා ගත්තායැයි මාගේ  හැගේමයි...දවසක මෙහෙවර නිමාකර හිරු බැස යන්නා සේ දවසේ රාජකාරි නිමකර පුරුෂයා නොහොත් පියා ගේ පැමිණීම ඇයට අන්ධකාර අහස් තලයට පෑයු සුපුන් සඳ මෙන්ය...අදුරු අහස නම් ස්වාමියා එනතුරු දුකින් පිරුනු ඇගේ හදවතය....ඇය ඈතින් එන ස්වාමියාගේ රුව දැකීමෙන් උද්දාමයට  පත්ව පුතුටද පෙන්වමින් ඒ සතුට දෙගුණ තෙගුණ කරගැනීමට තරම් අහිංසකය...

සමස්තයක් ලෙස ගත් කල ඉතා ආදරණීය පවුලක් තුල තම ස්වාමියා කෙරෙහි අප්‍රමේයවූ සෙනෙහසකින් බැදී බිරිඳක් තමන් වෙනුවෙන් වෙහෙසෙන ස්වාමියා රැකියාවෙන් නිදහස්ව ඈ වෙත පැමිනෙනතුරු බලාසිටින අයුරු විදහා පාන ගීයකයැයි මාගේ හැගීමයි

       ජනක පතිරගේ
       8 / 07 /2018

Comments